Principal’s Message

ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලියෙන් සම්මානිත සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ධීමතාණන් ගේ මධ්‍ය විද්‍යාල සංකල්පයෙන් 1941දී ඇරඹි අප ජාතික පාසල පේරාදෙණි විශ්ව විද්‍යාලයේ භූමි සෞන්දර්යයට නෑකම් කියන්නකි. සිංහල සංස්කෘතියත් බෞද්ධ ශිෂ්ටාචාරයත් සුසංයෝගයෙන්, නිපුණතාවන්ගෙන් පරිපූර්ණ උදාර සිසු පරපුරක් දැයට දායාද කිරීම අපගේ අරමුණයි.

පාසල් ආදර්ශ පාඨය වන “අත්තාහි අත්තනෝ නාථෝ” යන ධම්මපද පාඨය තවදුරටත් පුද්ගල සවිබලකරනය ට මග පාදයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළය බබළවන බාලක බාලිකා මිශ්‍ර අධ්‍යාපනයේ උසස්තම ශිල්ප ශාලිකාව බණ්ඩාරනායක විදුපියසයි.

පහ ශ්‍රේණිය සමත් ශිෂ්‍යත්ධාරීන්ගෙන් ඇරඹෙන අධ්‍යාපන කාර්යය කලා, වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණවේදය යන උසස් පෙළ අංශයන් පුරා පැතිර යයි. ජාතික ක්‍රීඩාවට අනන්‍යතාවක් සපයන අප විද්‍යාලය කොට්ඨාස ක්‍රීඩා තරගාවලියේ දී හැමවිටම පාහේ ප්‍රමුඛයා වන්නේ මීටර් 400 ධාවන පථයක ආඩම්බර කම ද වෙඩි පිටියක අහංකාරය ද ප්‍රදේශයේ ඒකම බොක්ෂිං වලල්ලේ හිමිකාරත්වය ද පෙරටු කර ගනිමිනි. කලින් කලට සුපිපෙන නේක වර්ණ පුෂ්පයන්ගෙන් ද පැසී ඉදෙමින් පවතින පලතුරින් ද විහග රාවයන් තුරුලු කරගත් වන ගුල්මයෙන්ද ගලාබස්නා ඇල දොලින් ද, රන් කරලින් බර වන කෙතින් ද, අපගේ විදුබිම විරාජමාන ය. ප්‍රධාන දොරටුවෙන් පිවිසෙන දරු කැල සමාධි පිළිමය ඉදිරියේ අංජලි කරණීය වන අතරම විහාරස්ථානයකටත් නොදෙවෙනි ප්‍රධාන පිළිමගෙය මෙන්ම බෝධි වෘක්ෂය ද අතීත උරුමයේ උත්තම සාධකයෝ වෙත්.

“සිප්සර” ත්‍රෛමාසික පාසල් සඟරාව විද්‍යාලයට තවදුරටත් ආලෝකයකි. බහුවිධ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ද විවිධ ප්‍රදර්ශනයන් ද, ක්‍රීඩා උත්සව ද, වාර්ෂික ලේ දන්දීමේ කදවුර ද, ත්‍යාග ප්‍රධාන උත්සවය ද, ආගමික වැඩසටහන් ද, වෛද්‍යවරයෙකුගේ සේවය සලසන පාසල් “සිසු සුවපියස” ද විදු මවගේ කිතුගොසෙහි නොනිමෙන ප්‍රදීපයන් වේ. අප බිම කෙළවරින් දිවෙන දුම්රිය මග දරු කැල ප්‍රීණනය ට පත් කරන අතරම අපගේ කිත් යසස සිරි ලක පුරා මෙන්ම ලෝකය පුරා රැගෙන යන්නේ ලක්මව ආඩම්බරයට පත් කරමිනි.

ඒච්.ඒ්.ඩබ්ලිව්.කේ. හේරත් මයා
විදුහල්පති

si_LKSinhala